පුවත්

මෙතරම් මැතිවරණ රටට දරාගත හැකිද?

ශ්‍රී ලංකාව යනු අර්ධ ස්වාධීන යටත් විජිත තත්ත්වයේ සිට පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත්වෙමින් පසු තවමත් නිරුපද්‍රිතව පවතිනා රටකි.

 මෙතරම් මැතිවරණ රටට දරාගත හැකිද?

 

ශ්‍රී ලංකාව යනු අර්ධ ස්වාධීන යටත් විජිත තත්ත්වයේ සිට පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත්වෙමින් පසු තවමත් නිරුපද්‍රිතව පවතිනා රටකි. 1931 දී සර්වජන ඡන්ද බලය ලත් ප්‍රථම ආසියාතික රට බවට පත්වූ ශ්‍රී ලංකාව එම වසරේදීම වරප්‍රසාදය භුක්තිවිඳීමේ වාසනාවද හිමිකර ගනී. ඉන්දියාවද  එම වරප්‍රසාදය හිමිකර ගන්නේ ඉන් වසර 20 කට පසුව නිසා ශ්‍රී ලංකාව යනු ආසියාවේ දේශපාලනය පිළිබඳව විශාල අත්දැකීමක් ඇති රටකි. සර්වජන ඡන්ද බලය හිමිවීමෙන් පසු රටට ජනතාවට ඇතිවන ගැටලු විසඳාගැනීමට මහජන නියෝජිතයන් පත්වුවත්, අද වනවිට එම පරමාර්ථය ඉෂ්ට වනවාදැයි ප්‍රශ්න පැන නගිමින් තිබේ.

තමන්ගේ දේපළ පවා විනාශ කරගනිමින් ජනතාවට සේවය කළ මහජන නියෝජිතයන්ද අප රට තුළ බිහිවූයේ මීට වසර තිහ හතළිහකට පෙරය. අද වනවිට තමන්ගේ දේපළ යොදාගෙන මහජනතාවට සේවය කරන මහජන නියෝජිතයන් සිටින්නේ දෙතුන් දෙනෙක් පමණි.

වර්තමානයේ සිටින මහජන නියෝජිතයන් ගෙන් 99.9% කට වැඩි ප්‍රමාණයකගේ පරමාර්ථය වී තිබෙන්නේ රට හැදීමට පෙර තමන් හැදීමය. මේ සංකල්පය නිසා පාපැදියෙන් ගොස් ඡන්ද ව්‍යාපාරය කර අද වනවිට ප්‍රා‘ඩෝ, ලාන්සර්, හයිබ්‍රිඩ්, ලැම්බෝගිනි රථවල ගමන් ගන්නා මහජන නියෝජිතයෝද බොහෝ වෙති.
මේ වනවිට රට තුළ ප්‍රධාන වශයෙන් මැතිවරණ හතරක් පැවැත්වෙන අතර, ගෙවී ගිය වසර 26 ක කාලය ගතහොත් මැතිවරණ 41 ක් පවත්වා තිබේ.

\"\"

ඒ පාර්ලිමේන්තු මැතිවරණ 06 ක් ජනාධිපතිවරණ 05 ක්, පළාත් සභා මැතිවරණ 16 ක් පළාත් පාලන මැතිවරණ 14 ක් වශයෙනි. ජනාධිපතිවරණ ඉතිහාසයේ වසර 26 කට පෙර මැතිවරණයක් පවත්වා තිබෙන්නේ 1988 දෙසැම්බර් 19 වැනිදාය. කාලරාමුව අනුව ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ වසර 06 කට වරක්ය. මේ අනුව වසර 26 තුළ ආසන්න වශයෙන් ජනාධිපතිවරණ පැවැත්විය යුතු වන්නේ මැතිවරණ හතරක් පමණි.

එහෙත් මේවනවිට මැතිවරණ 05 ක් පවත්වා තිබෙන අතර, ලබන වසරේ මැතිවරණයක් පැවැත්වුවහොත් වසර 27 කට මැතිවරණ 06 ක් පවත්වා තිබේ. එහෙත් මැතිවරණ 06 ක් පැවැත්වීමට නම් වසර 36 ක් ගත වී තිබිය යුතුය. වසර 06 න් 06 ට මැතිවරණයක් පැවැත්විය යුතු වුවත් 1994 නොවැම්බර් 09 වැනිදා මැතිවරණයක් පැවැත්වීමෙන් පසු 1999 වසරේ දෙසැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණයක් පවත්වා තිබේ. මේ අනුව එම කාලය තුළ පරතරය වසර 05 කි.

ඉන් පසුව 2005 වසරේ නොවැම්බර් 17 වැනිදා ජනාධිපතිවරණයක් පවත්වා තිබෙන අතර, 2010 වසරේ ජනවාරි 26 වැනිදා නැවත ජනාධිපතිවරණයක් පවත්වා තිබේ. මෙම කාලය අතර පරතරය වසර 05 කි. ඉදිරි ජනාධිපතිවරණයන් පිළිබඳව ඉඟි පළවී තිබෙන අතර, එම මැතිවරණය 2015 වසරේ ජනවාරි 08 වැනිදා පැවැත්වීම පිළිබඳවත් කතාබහක් ඇති වී තිබේ. මේ අනුව එම දිනයේදී මැතිවරණයක් පැවැත්වුවහොත් කාලපරතරය වසර 05 කි.

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ වසර 20 කට එහා ගතහොත් අවසාන වරට මැතිවරණයක් පවත්වා තිබෙන්නේ 1989 වසරේ පෙබරවාරි 15 වැනිදාය. 1989 වසරේ සිට මේ දක්වා මැතිවරණ 06 ක් පවත්වා තිබේ. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු වන්නේද වසර 06 කට එක්වරක් පමණි.
මේ අනුව ගෙවී ගිය වසර 24 ක කාලය තුළදී පැවැත්විය යුතු මැතිවරණ ප්‍රමාණය හතරකි. එහෙත් එම කාලය තුළදී මැතිවරණ 06 ක් පවත්වා තිබේ. 1989 වසරින් පසු 1994 වසරේ අගෝස්තු 16 පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා තිබෙන අතර, ඉන්පසුව 2000 වසරේ ඔක්තෝම්බර් 10 ත් 2001 වසරේ දෙසැම්බර් 05 ත් 2004 වසරේ අප්‍රේල් 02 ත් 2010 වසරේ අප්‍රේල් 08 ත් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇත.

\"\"

පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතවන්නේ 1988 වසරේදීය. මේ අනුව පළාත් සභා මැතිවරණයක් වසර 05 න් 05 ට පැවැත්විය යුතුය. මේ අනුව ගෙවී ගිය වසර 26 තුළ නිවැරදි ලෙස මැතිවරණ පැවැත්වූවා නම් මේ වනවිට පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණ ප්‍රමාණය ආසන්න වශයෙන් 06කි. 

එහෙත් පළාත් සභා මැතිවරණය කඩින්කඩ පැවැත්වීම නිසා වසර 26ක කාලය තුළදී මැතිවරණ 16 ක් පවත්වා තිබේ. කඩින්කඩ මැතිවරණ පැවැත්වීම යටතේ උතුරු, නැගෙනහිර, පළාත් හැර ඉතිරි පළාත් සභා 07, 1999 වසරේදී පමණක් අවස්ථා 03ක් වශයෙන් පවත්වා ඇත. ඒ වයඹ පළාත් සභාව 1999 ජනවාරි 25 වැනිදාත්, දකුණු පළාත් සභාව 1999 ජූනි 10 ත්, ඉතිරි පළාත් සභා 05, 1999 අප්‍රේල් 06 ත් වශයෙනි.

2004 වසරේදී පළාත් සභා 07 අවස්ථා දෙකකදී පවත්වා තිබෙන අතර, මේ අනුව වයඹ පළාත් සභාව 2004 අප්‍රේල් 24 ත්, ඉතිරි පළාත් සභා 06 2004 වසරේ ජූලි 10ත් වශයෙනි. 2008 වසරේදී පළාත් සභා මැතිවරණ 02 ක් පවත්වා තිබෙන අතර, 2009 වසරේදී පළාත් සභා මැතිවරණ හතරක් පවත්වා තිබේ.මේ වසරේදී පමණක් පළාත් සභා මැතිවරණ දෙකක් පවත්වා තිබේ.

ලංකාව තුළ පිහිටා තිබෙන පළාත් පාලන ආයතන ගණන 355 කි. වසර හතරකට වරක් මැතිවරණයක් පැවැත්වීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ගෙවීගිය වසර 17 ක කාලය ගතහොත් අවසන්වරට පළාත් පාලන මැතිවරණයක් පවත්වා තිබෙන්නේ 1997 මාර්තු 21 වැනිදාය.

මේ අනුව ගෙවී ගිය වසර 17ක කාලය තුළ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මැතිවරණය පැවැත්වූවා නම් මේ වනවිට පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණ හතරක් පමණයි. එහෙත් මේ වනවිට පළාත් පාලන මැතිවරණ 14 ක් පවත්වා තිබෙන අතර, එම මැතිවරණ 14 පවත්වා තිබෙන්නේ මුහුදුබඩපත්තුව හා පුදුකුඩුඉරුප්පු පළාත් පාලන ආයතන දෙක නොමැතිවය.

අධිකරණ කටයුත්තක් නිසා මෙම පළාත් පාලන දෙකේ මැතිවරණ මේ වනතෙක් පවත්වා නැත. 1997 වසරින් පසු 1988 වසරේ ජනවාරි 29 වැනිදා යාපනය ප්‍ර‘දේශයේ පළාත් පාලන මැතිවරණය පවත්වා තිබෙන අතර, 2002 වසරේදී පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණ අවස්ථා තුනකදී පවත්වා තිබේ. 2003 මාර්තු 08 පළාත් පාලන මැතිවරණයක් පවත්වා තිබෙන අතර, 2006 වසරේදී අවස්ථා දෙකකදී පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණ පවත්වා ඇත.

\"\"

2008 වසරේ මාර්තු 10 වැනිදා පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණ පවත්වා තිබෙන අතර, 2009 වසරේ අගෝස්තු 08 වැනිදා යාපනය පළාත් පාලන ආයතනයෙත්, වව්නියාව පළාත් පාලන ආයතනයකත් මැතිවරණය පවත්වා තිබේ. අවසාන වරට පළාත් පාලන මැතිවරණයක් පවත්වා තිබෙන්නේ 2011 වසරේදී වන අතර, එම වසරේ මාර්තු 17, ජූලි 23 හා ඔක්තෝම්බර් 08 වැනිදා මැතිවරණ පවත්වා තිබේ. එහෙත් පළාත් පාලන ආයතන 335න් එම වසරේදී පවත්වා තිබෙන්නේ ආයතන 333 ක පමණි. මේ අනුව අධිකරණමය කටයුතු අවසන් වූ පසු මුහුදුබඩපත්තු, පුදුකුඩිඉරුප්පු පළාත් පාලන ආයතන දෙකේ මැතිවරණ පවත්වන විට ගෙවී ගිය වසර 17 ක කාලය තුළදී පළාත් පාලන මැතිවරණ 15 ක් පවත්වා තිබේ.

තවද 2011 වසරේදී පැවැත්වූ සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය 2015  වසරේදී අවසන් වේ. මේ අනුව ලබන වසරේදී පළාත් පාලන මැතිවරණයක් පැවැත්විය යුතුය. මෙම මැතිවරණ කැලැන්ඩරයට අනුව ඉදිරියේදී සෑම වසරකදීම ආසන්න වශයෙන් මැතිවරණ දෙකක් හෝ එකක් පැවැත්වීම අනිවාර්ය ක්‍රියාවකි.
මැතිවරණයක් කඩින්කඩ පැවැත්වීම නිසා එක් මැතිවරණයක් වෙනුවෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් මෙරටට අහිමි වනු ලබයි. මීට අමතරව මහජන නියෝජිතයන් ලෙස පත්ව සිටි පිරිස් තම පක්ෂය දිනවීමට කැපවී කටයුතු කිරීම නිසා ජනතාවට සේවය කිරීමට තිබෙනා කාලයෙන් විශාල ප්‍රමාණයක් ගත කිරීමට සිදුවන්නේ මැතිවරණ කටයුතු සඳහාය.

ගෙවී ගිය වසර 20 ක කාලය ගතහොත් ආසන්න වශයෙන් එක් වසරකදී මැතිවරණ දෙකක් පවත්වා තිබේ. මෙහිදී එක් මැතිවරණයක් වෙනුවෙන් මාස දෙකකට අධික කාලයක් කටයුතු කළ යුතුය. මේ අනුව එක් මහජන නියෝජිතයෙක් වසරේ මාස 12 න් මාස 04ක් ගත කර තිබෙන්නේ තම පක්ෂය දිනවීමේ දේශපාලන කටයුතු වෙනුවෙනි. මාස 48කට පළාත් පාලන ආයතනයකට යන නියෝජිතයකුට තමන්ට අයත් වසර හතර තුළින් මාස 16ක්ම වැය කර තිබෙන්නේ මැතිවරණ කටයුතු වෙනුවෙනි.

මාස 60කට පළාත් පාලන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වන මහජන නියෝජිතයෙකු මාස 20ක්ම වැය කරන්නට සිදුවන්නේ මැතිවරණ වෙනුවෙනි. මාස 72කට මහජන නියෝජිතයෙකු වන පාර්ලිමේන්තු මහජන නියෝජිතයෙකුට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සිදුවන්නේ මාස 48 ක කාලයක් පමණි.
මේ නිසා මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු කාලය එළඹ තිබේ. වසර 06 න් 06ට පැවැත්වෙන පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණය එක් දිනයකත්, වසර හතරකට වරක් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වසර 05 ක් දක්වා ඉහළ දමා පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය එක් දිනයකදීත් පැවැත්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීම තුළින් මෙය සිදුකළ හැකිය. එසේ නොමැති වුවහොත් මේ රට ආගාධයට යන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට බව පවසමින් කඩින්කඩ මැතිවරණ පවත්වා රටේ මුදල් විනාශ කර හා පරිසරයට හානි කරන පොලිතින් එකතු කිරීම තුළිනි.

- See more at: ada.lk/article/34992/%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7-%E0%B6%AF%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%AF

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com